• Sat. Apr 18th, 2026

වන අලි මිනිස් ගැටුම් කළමණාකරණය සදහා බදුල්ල දිස්ත්‍රික් කමිටුව අද පිහිටුවයි…

ByRanjith Karunaweera

Aug 13, 2025

වන අලි මිනිස් ගැටුම් කළමණාකරණය සදහා බදුල්ල දිස්ත්‍රික් කමිටුව අද පිහිටුවයි…

===================

වන අලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා බදුල්ල දිස්ත්‍රික් කමිටුව පිහිටුවීම අද (12) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

බදුල්ල දිස්ත්‍රික්කය නිරන්තර වන අලි ගැටළු වලට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් නොවුනද මේ වසර තුළ, මිනිස් ජීවිත අහිමිවීම් 07 සඳහා මිලියන 4.2ක් ද ශාරීරික හානි 11ක් සඳහා මිලියන 0.4ක් හා දේපළ හානි 235ක් සඳහා මිලියන 16.2 ක් වශයෙන් මේ වන විටත් ගෙවීම් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්තුමා පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදීමාලියද්ද, කන්දකැටිය හා හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ අලි මිනිස් ගැටලුව පවතින අතර මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 34ම වන අලි තර්ජනයට නතුවේ.

වන අලින් සඳහා අවශ්‍ය තරම් ජලය හා ආහාර නොමැති වීම, වන අලින්ගේ ගමන් මාර්ග හා වාසස්ථාන අහිමිවීම, අවිධිමත් ඉඩම් පරිහරණය, මහා පරිමාණ ව්‍යාපෘති හා අවධිමත් කසල බැහැර කිරීම් ආදී හඳුනාගත් ප්‍රධාන ගැටලු හේතුවෙන් අලි මිනිස් ගැටළුව වඩ වඩාත් තීවෘර වන බව මධ්‍යම කලාප භාර වනජීවී සහකාර අධයක්ෂවරයා ප්‍රකාශ කළේය.

වන අලින්, මිනිසුන්, දේපළ හා භෝග වගාවන් සියල්ලම ආරක්ෂා කර ගනිමින් ජාතික මට්ටමේ විසඳුම් ලබා ගැනීමට මත්තෙන් ඒ ඒ ප්‍රදේශවල පවතින ගැටලුවලට අනුකූලව විසඳුම් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් එහිදී ජනතාවගේ සාම්ප්‍රදායික ඥානය කෙරෙහිද අවධානය යොමු කරමින් තාක්ෂණික, න්‍යායාත්මක හා නිලධාරි දැනුම, අත්දැකීම් පදනම් කරගනිමින් කෙටි කාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන ස්ථීරසාර විසඳුම් සෙවීම කළ යුතු බවත්, ඒ සඳහා පූර්ණ දායකත්වය සියලූම නිලධාරීන් විසින් ලබා දිය යුතු බවත් දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රකාශ කළේය.

මෙහිදී,පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, වාරිමාර්ග අධ්‍යක්ෂ (ඌව), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා නැගෙනහිර කලාප භාර සහකාර අධ්‍යක්ෂවරුන්, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රදේශීය සභා සභාපතිවරුන් මේ සම්බන්ධයෙන් පවතින අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළෝය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ලෙස මා සහ රවීන්ද්‍ර බණ්ඩාර, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් පාලන (වැ/බ) නිලන්ති ප්‍රියදර්ශනී සමරවික්‍රම, මහියංගනය, රිදීමාලියක්ද, කන්ද කැටිය, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්, නියෝජ්‍ය පොලිස්පති හා ආරක්ෂක අංශ නිලධාරීන්,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වාරිමාර්ග අධ්‍යක්ෂතුමන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, වන සංරක්ෂණ නිලධාරීන් ඇතුළු මෙම ක්ෂේත්‍රයට අදාළ රාජකාරි කටයුතු සිදුකරන නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.

(තොරතුරු උපුටා ගැනීම-දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය – බදුල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page