ගැබිණි මව්වරුන්ට අද මේ මේ පරිත්‍යාගය සිදු කරන්නේ විශේෂ හේතුවක් නිසා. ….
රටක ජනගහනය අඩුවුණාම ඒ රටේ ප්‍රධාන ජන කොටස හීන වෙනවා.ඔවුන් ඉවත් වෙලා ආගන්තුක මිනිස්සු රටේ ප්‍රධාන ස්ථානය ගන්නවා. අද මේක ලෝකයේ බොහෝ රටවල සිද්ධ වෙමින් පවතිනවා. ඔබ දන්නවද ජපානයේ අද තියෙන ප්‍රධාන ගැටලුව මොකක්ද කියලා. එහේ මුළු ජනගහනය වැඩි පිරිසක් ඉන්නේ වැඩිහිටි වයස්ගත උදවිය. ඒ රටවල තරුණ ජනගහනය අඩුවෙලා. වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා විදෙස් රටවලින් කුලියට මිනිස්සු ගෙන්වා ගන්නවා. සිංගප්පූරුවෙත් වයසක උදවිය බලාගන්න කට්ටිය නෑ. ඉතින් අපේ වගේ රටවලින් වැඩිහිටියන් බලා ගැනීම සඳහා කුලියට මිනිසුන් ඒ රට වලට ගෙන්වා ගන්නවා. දවසක අපේ රටටත් මේ දේම වෙන්න පුළුවන්. අපේ රටේ දරු උපත් අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙමින් පවතිනවා එහෙම අඩුවුණොත් ඒක බරපතල තත්වයක් එනිසා ගැබිණි මව්වරුන් අපි රැක බලා ගත යුතුයි. රටේ පැවැත්ම සඳහා දරුවන් රටක සිටිය යුතුය. දරුවන් බිහිකරන අම්මලාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සැලකිය යුතුය. ඔවුන් බිහිකරන්නේ මේ රටේේ අනාගතය, මේ රටේ පැවැත්ම. නොයෙක් දුක් ගැහැට විඳලා දරුවන් මේ ලොවට බිහිකරන මව්වරුන් රැක බලා ගැනීම අපි හැමෝගෙම වගකීමක් සහ යුතුකමක් වෙනවා.ඔවුන්ගේ කැපවීම අති දුෂ්කරයි ඒක අපි අගය කරන්න ඕන ඉතින් ඔවුන්ට අනුග්‍රහයක් දැක්වීම අපේ යුතුකමක් සහ වගකීමක් වෙන නිසා තමයි අද දවසේ මෙහෙම ගැබිණි මව්වරුන්ට මේ පරිත්‍යාගයන් අපි සිදු කරන්නේ. යනුවෙන් කඩුගන්නාව පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ, සිංගප්පූරු ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ , බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල්ල ධම්මරක්ඛිත හිමියන් දෙසා වදාළහ.
උන්වහන්සේ එළෙස දේශනා කළේ, පසු ගියදා (05/06 දෙදින) ගිරාඳුරුකෝට්ටේ ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වූ බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමිපාණන් වහන්සේගේ සහ, අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිවරුන් සිහිපත් කරමින් වාර්ෂිකව පවත්වනු ලබන දෙදින දානමය පුණ්‍ය කර්මයේ ගැබිණි මාතාවන් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීම. දහම් පාසල් දරුවන් වෙනුවෙන් ත්‍යාග හා අධ්යාපනිකඋපකරණ පිරිනැමීමේ උත්සවයේදී.
තවදුරටත් අදහස් දැක්වූයේ ආචාර්ය බෙල්ලන්විල ධම්මරක්ඛිත නා හිමියන් , මිනිස්සුන්ගේ දුප්පත්කම ගැන ඇතැම් අය විවිධ ආකාරයෙන් නිර්වචන දෙනවා. මම මේ දුප්පත්කම කියන වචනයට හරි විරුද්ධයි.ඔවුන් හිතාගෙන ඉන්න විදිහට දුප්පත්කම කියන්නේ භෞතික වශයෙන් ගොඩනගා ගෙනතියෙන ගෙවල් දොරවල් ඉඩකඩම් යානවාහන අතේමිටේ මුදල් හදල් නැතිනම් ඒක දුප්පත්කම කියලයි. ඒක එහෙම නෙවෙයි. අපි පොහොසත් වෙන්න ඕනේ මනසින්, මනසින් පොහොසත් වුනොත්,ශක්තිමත් වුණොත්,ඔය කියන භෞතික සැප සම්පත් ඉබේම ලැබෙනවා. ඒ වෙනුවෙන් හොඳ කැපවීමක් තියෙන්න ඕන. එය රඳා පවතින්නේ අපි කරන ක්‍රියාකාරකම් අනුවයි. හොඳට කල්පනා කරලා බලන්න. ලෝකයේ බොහෝ රටවල් තිබුණා. ඉතාමත් පහළ තත්වයේ. හැබැයි ඒ රටවලට හොඳ නායකයෝ බිහිවුණා. ඔවුන් බොහොම අමාරුවෙන් එකතුවෙලා කල්පනා කරලා වැඩ කළා. ඒ නිසා ඔවුන්ට දියුණු වෙන්න පුළුවන් වුනා. ඔවුන් හිතෙනුත් හරි පොහොසත් දියුණුවේ රහස එතනයි තියෙන්නේ.නායකයත්වයේ වැදගත්කම එතෙන්ටයි ඕනා. මේ නෑ බෑ කියන වචනයත් අපේ ශබ්ද කෝෂයෙන් අයින් කරන්න ඕන. ඔය බැරිකමයි නැතිකමයි අපේ රටවල් වලට වින කරනවා.එහෙම උනොත් අපේ රටවල් දියුණු කරන්න පුළුවන් විතරක් නෙවෙයි. අපි හැමෝටම ආත්ම අභිමානයක් ආත්ම ශක්තියක් ලැබෙනවා. අද අපි මේ පෝෂණ මල්ලක් දෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වලට, ඒ අය දුප්පත් අය නෙවෙයි. එයාලගේ ආදායමේ අඩුවක් තමයි තියෙන්නෙ, ඒ වෙනුවෙන් තමයි අපේ මේ උත්සාහය,මේ නිසා ඔවුන් දවසක ඉක්මනින්ම තමන්ගේ ගමන හදා ගනීවි. ඒ වගේම තමයි මේ දහම් අධ්‍යාපනය. ද අපේ රටේ අධ්‍යාපනය මාපියාවක් වෙලා.ටියුෂන් අධ්‍යාපනය නිසා තමයි මේ දහම් අධ්‍යාපනයට කණ කොකා හැඬුවේ. මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්නට ඕන.එක අධ්‍යාපන බලධාරීන්ගේ වැඩක්. කොහොම වුණත් දරුවෝ දහම් පාසලට එවන එක දෙමව්පියන්ගේ වගකීමක්,මේ දහම් පාසල් අධ්‍යාපනය අතිශයින් වැදගත්. කල සිටම දරුවන් දහම් පාසලට ඒවා ගන්න පුළුවන් නම් ඔවුන්ගේ සාරධර්ම ගුණධර්ම වඩවලා රටට වැඩදායී හොඳ පුරවැසියෙක් බිහි කරන්න පුළුවන්. අද හැමෝගෙම චිත්ත වේග බිඳ වැටිලා. පාලනය කරගන්න ක්‍රමයක් නෑ.
දහම තමයි ඊට හොඳම බෙහෙත. පුළුවන්ගේ සාරධර්ම ගුණධර්ම වඩවන්නේ දහම් පාසලෙන්. ලස්සන රටක් නිර්මාණය කරන්න, පොහොසත් මිනිස්සු හදන්න නම්,කුඩා දරුවන්ගේ දහම් අධ්‍යාපනය නගා සිටුවන්න ඕනවෙනුවෙන් මහා සංඝරත්නය සැදී පැහැදී සිටිනවා, මේ රටේ ඇතැම් බෞද්ධ ජනතාව දරුවාගේ දහම් අධ්‍යාපනයට තියෙන තැන අහුරලා, ඉරිදා දවසෙත් හොර රහසේ ගෘප් ක්ලාස් කියල ළමයි අරන් යනවා. ප්‍රසිද්ධ පන්ති පැවැත්වීමනේ උදේ වරුවේ තහනම්. ඉතින් ටියුෂන් ගුරුවරුන්ටත් අපි කියනවා ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඉරිද දවසේ හොරෙන්වත් මේ පන්ති කරන එක නතර කරන්න.එහෙම උනොත් දහම් පාසලට දරුවො ඒවි. වගේම දෙමව්පියන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕන. පද්ධතියේ වෙනස් කිරීම් කරන්න නම් ආකල්ප වෙනස අත්‍යවශ්‍යයි. බලෙන් හරි මේ වෙනස ඇති කරන්න ඕන. දරුවන් යමක් හරි හැටි නොදැන අපි ළඟට එන පිරිසක්. හරියට පතලකින් මතු වුනු මැණික් ගලක් වගේ මැණික් ගල් ඔපදානව වගේ දරුවා ඔප කිරීම තමයි අපේ කාර්යභාරය වෙන්නේ. ඉතින් අපි දහමින් මේ දරුවෝ ඔප මට්ටම් කරමු.දරුවන්ගේ ඔලු ටික හැදුනොත් රටේ ඔලුවත් ඉබේම හැදෙයි. ඒ නිසා මේ දරුවෝ ටික අපි ආදරයෙන් පරිස්සමෙන් රැක බලාගන්න ඕන . අපවත් වී වදාළේ නාහිමියන් අනුස්මරණය කරමින් පවත්වනු ලබන වාර්ෂික දානය පිට පළාතකට ගොස් පැවැත්වීම අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ සංකල්පනාවක්. උන්වහන්සේ ජීවතුන් අතර වැඩ ඉද්දී තමයි. කොළඹින් පිට පළාතකට ගොස් නාහිමියන් සමරා දන් දෙන්න පටන් ගත්තේ.
ඒ සංකල්පය තහවුරු කරමින් අපිත් රට වටා ගිහින් උන්වහන්සේ දෙපළම සිහිපත් කරමින්, උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමින් මේ දානමය පුණ්‍ය කටයුත්ත සිද්ධකරනවා යනුවෙන් වදාළහ. මෙහිදී ගිරාදුරුකෝට්ටේ ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත නාපටවල ශ්‍රී ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ද අනුශාසනා පැවැත්වූහ. සවස් කාලයේ බෝධි පූජා පින්කම පැවැත්වූයේ කඩුගන්නාව භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය විලඔයේ සාරානන්ද හිමිපාණන් වහන්සේ විසිනි. දහවල් සාංඝික දානය අසූ නමක් ස්වමීන් වහන්සේලා වෙනුවෙන් පිරි නමන ලදී. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දායක සභාව, තරුණ සංවිධානය, කාන්තා සංවිධානය නියෝජනය කරමින් බෙල්ලන්විල රාජමහා විහාරයේ දායක කාරකාදීන්ද මෙම අවස්ථාව හා සහ සම්බන්ධ විය.
– කුමාර බුලත්සිංහල – ගිරාඳුරුකෝට්ටේ –






