• Sat. Apr 18th, 2026

මහියංගණය පිළිබඳ ‘මහියංගණ වරුණ’ නමින් හස්තසාර ග්‍රන්ථයක්….

ByRanjith Karunaweera

Jan 5, 2025

මහාවිහාර වශිංක ස්‍යාමෝපාලි මහා නිකායේ, අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝ සභික,ඓතිහාසික මහියංගන රාජ මහා විහාරාධිපති

මහෝපාද්‍ය ආචාර්ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිතාභිදාන මහ නාහිමියන්ගේ 75 වන ජන්ම දිනය සැමරීම, “මහියංගන වරුණ “ශාස්ත්‍රීය ග්‍රන්ථය දොරට වැඩීම හා මහ නා හිමියන් තායිලන්තයේ මහා චූලාලංකාර රාජ විද්‍යාලය විශ්ව විද්‍යාලයෙන්

බෞද්ධ අධ්‍යයනය පිලිබඳ ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීම සමරනු වස් පසුගියදා මහනුවර එක්සත් බෞද්ධ මන්දිරයේ ‍රැස්වීම් ශාලාවේ ගාම්භීර වූ උත්සවය පැවැත් විණි.

ග්‍රන්ථය පිලිබඳ ශාස්ත්‍රීය දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යනාංශයේ මහාචාර්ය ගරු මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසින් සිදු කරනු ලැබීය.

‘මහියංගණ වරුණ’ රජරට විශ්වවිද්‍යාලයේ ඉතිහාස මහාචාර්ය අජිත් තල්වත්ත මහතා කලක පටන් ප්‍රකට වී ඇත්තේ ‘ලොකු පොත් ලියන’ අයකු වශයෙනි. මෙකී ‘ලොකු පොත්’ යනු පූජනීය ස්ථානයක්, පූජනීය පුද්ගලයකු හෝ ඓතිහාසික ප්‍රදේශයක් අළලා ලියැවුණු ශාස්ත්‍රීය ලිපි සහිත ග්‍රන්ථයි.

මහාචාර්ය තල්වත්ත අතින් සංස්කරණ වන මෙකී ග්‍රන්ථ ‘ලොකු පොත්’ වන්නේ ප්‍රමාණයෙන් පමණක්ම නොවේ, ග්‍රන්ථ නිමිත්තට හැකි උපරිම සාධාරණය කරමින් සෑම අංශයක්ම පාහේ ආවරණය කෙරෙන ලිපි එකතුවක් ඊට අන්තර්ගත වීම හේතුවෙනි.

ලිපි සම්පාදනය සඳහා ක්ෂේත්‍රයේ අදාළ විද්වතුන් සම්බන්ධ කරගනිමින්, සිහිකැඳවීම් සිදු කරමින්, කලට වේලාවට ලිපි ලබාගෙන ග්‍රන්ථයේ කටයුතු නිමා කිරීමට මහාචාර්ය තල්වත්ත දක්වන්නේ පුදුමාකාර කැපවීමකි, පුදුමාකාර ඉවසීමකි.

මහාචාර්ය අජිත් තල්වත්තගේ නවතම සංස්කරණ කාර්යය ‘මහියංගණ වරුණ’ ශාස්ත්‍රීය සංග්‍රහයයි. මහියංගණ රජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිතාභිදාන මහ නාහිමියන්ගේ 75වැනි ජන්ම දිනයට උපහාරය වශයෙන් ප්‍රකාශයට පත් කෙරුන මෙකී ශාස්ත්‍රීය සංග්‍රහයට අන්තර්ගත ලිපි ගණන 64කි. භූගෝලීය හා දේශගුණික පසුබිම, සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය, ඓතිහාසික පසුබිම, පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණය, කලාව හා සංස්කෘතිය, සමාජ ආර්ථික පසුබිම, අධ්‍යාපනය හා සන්නිවේදනය යන

අංශ ඔස්සේ පෙළගස්වා ඇති මෙම ලිපි එකතුවෙන් මහියංගණ රජමහ විහාරය හා ආශ්‍රිත ප්‍රදේශය පිළිබඳ ආවරණය නොවන අංශයක් නොමැති බවට කියවේ. ඒ නිසා මහියංගණය පිළිබඳ අධ්‍යයන කරනවුන්ට ‘මහියංගණ වරුණ’ හස්තසාර ග්‍රන්ථයක් වනු නොඅනුමාන ය.

අධික මුද්‍රණ වියදම් හමුවේ වුව ද මෙවන් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ප්‍රධාන සංස්කාරක මහාචාර්ය අජිත් තල්වත්ත මහතාටත්, ඒ සඳහා අනුග්‍රාහකත්වය දැරූ පිරිසට ප්‍රණාමය හිමිවිය යුතු ය.

මෙම උත්සව අවස්ථාව සඳහා අස්ගිරි මල්වතු උභය පාර්ශවයේ මහනායක, අනුනායක නාහිමියන් වහන්සේ ලා ඇතුළු මහා සංඝ රත්නයත්, දියවඩන නිලමේ තැන්පත් ගරු නිලංග දෑල මැතිතුමා , වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන්, මහදිසාපතිවරුන් ඇතුළු සම්භාව්‍ය ගිහි පිංවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

උත්සව සභාවෙන් පසු ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී සතාධික මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත මහා දක්ෂිනාවක් පිරිනැමීම සිදු කරන ලදී.

‘මහියංගණ වරුණ’ ශාස්ත්‍රීය සංග්‍රහය මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් 055 225 6655 | 077 704 0807 දුරකථන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page